Events of the month

<<  September 2014  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
  1  2  3  4  5  6  7
  8  91011121314
15161718192021
22232425262728
2930     

Story of the background image

Atacama Large Millimeter Array (ALMA)

Credit: ESO/C.Malin

ඇටකාමා කාන්තාරයේ පිහිටුවා ඇති මෙම රේඩියෝ දුරේක්ෂ ජාලය තරකා විද්‍යා නිරීක්ෂණයේදී භාවිතාවන නිරෝධන මාන තාක්ෂණය උපයෝගී කරගණිමින් විවිධ වූ තාරකාවිද්‍යාත්මක නිරීක්ෂණ සිදුකරයි.මෙම රූපයෙහි පෙනෙන පරිදි ඡායාරූපය ගෙන ඇත්තේ දිගු අනාවරන කාලයක් ලබාදී ඒ අතරතුර රතු පැහැති එලියක් එල්ල කරමිනි.එබැවින් මෙය රත් පැහැයක් ගෙන ඇත.තවද පසුබිමේ ක්ෂීරපථයද ඉහලින් කුඩා හා විශාල මැගලවලාවන්ද දැකිය හැකිය.

 

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

රාත්‍රී අහස නිරීක්ෂණය කරමු
Written by Anuradha Jayathilaka   
Sunday, 22 January 2012 18:37


රාත්‍රී කාලයේ තරු පිරි අහසක් මොනතරම් සිත් වශී කරවන සුළු ද? අහසේ ඇති තරු රටා නිරීක්ෂණය කිරීමට ඒ තරම් විශාල උපකරණ හෝ මහන්සියක් අවශ්‍ය වන්නේ නැත. අවශ්‍යවන්නේ ඔබේ උවමනාව සහ කාලය පමණි.

පැය කිහිපයක් තුල අහස නිරීක්ෂණයෙන් පමණක් ඔබට බොහෝ දේ ඉගෙනගත හැකි ය. නැගෙනහිරින් උදාවන තරු රටා පැය කිහිපයක් තුලදී ක්‍රමයෙන් අහස මුදුනට පැමිණෙන ආකාරයත් අහස මුදුනේ තිබූ තාරකා ක්‍රමයෙන් නැගෙනහිරින් බැස යන ආකාරයටත් අමතරව දෛනිකව හෝ දිගු කාලයක් පුරා තරු රටා නිරීක්ෂණ‍යෙන් දිනෙන් දින අහසෙහි ඇති වන සුළු වෙනස්කම් ඔබට දැකගත හැකිවනු ඇත.

‍අද දින චන්ද්‍රයා උදා වන්නේ ඊයේ උදා වූවාට වඩා විනාඩි 40ක් ප්‍රමාද වී ය. ඊට අමතරව චන්ද්‍රයාගේ කලාව ද, තරු අතර චන්ද්‍රයාගේ පිහිටීමද දිනෙන් දින වෙනස් වේ. ග්‍රහලෝක අහස හරහා සෙමින් චලනය වුවද කලින් කලට ඒවායේ තරු අතර පිහිටීම සහ දීප්තිය අඩු වැඩි වන ආකාරයක්ද දැකිය හැකි ය.

අහස වඩාත් පැහැදිලි දවසක් නම් අප ක්ෂිරපථයේ එහා ඉමත්, ඔරායන් නිහාරිකාවත්, ඇන්ඩ්‍රොමිඩා මණ්දාකිණියත් පියවි ඇසින් වුවද දැකගත හැකි ය.

නිරීක්ෂණය සඳහා සූදානම් වීම
හිරු ක්ෂිතිජයෙන් නොපෙනී ගියද අහස සම්පූර්ණයෙන්ම අඳුරුවන්නේ නැත. සූර්යයාලෝකය අහසෙන් සම්පූර්ණයෙන්ම නැතිවී තරු පැහැදිලිවම දැකගත හැකි අවස්ථාව Astronomical twilight ලෙස හැඳින්වේ. මෙහිදී සූර්යයා ක්ෂිතිජයෙන් අංශක 18ක් හෝ ඊට පහලින් තිබිය යුතු ය. ඒ අනුව රාත්‍රී අහස නිරීක්ෂණය සඳහා සුදුසුම කාලය Astronomical twilight අවස්ථාවෙන් පසු කාලය යි.කෙසේ වෙතත් ඔබ ජීවත් වන්නේ ආලෝක දූෂණය බහුල ප්‍රදේශයක නම් මේ අවස්ථාවෙන් පසුවද ක්ෂිතිජය ආසන්නයේ තරු දැකගැනීමට අසීරු වනු ඇත.



නිරීක්ෂනය කරන ස්ථානය ගහ කොළ සහ ගොඩනැගිලි අඩුවෙන් ඇති ප්‍රදේශයක් විය යුතු ය. නමුත් අපට මෙවන් ස්ථාන සොයාගැනීමට අපහසු නම් අහස උපරිම ලෙස අහස පෙනෙන උස් ස්ථානයක් වුවද යොදාගත හැකි ය.

ඔබ නාගරික ප්‍රදේශයක වාසය කරන්නේ නම් ආලෝක දූෂණය අහස නිරීක්ෂණයට විශාල බාධාවක් වනු ඇත. දීප්තිමත් ආ‍ලෝකය උදාහරණයක් ලෙස වීදි ලාම්පු ආලෝකය මඟහැරීමට හැකීයාවක් ඇත්තේම නැත්නම් ගොඩනැගිල්ලක වහලයක් හෝ වෙනත් වස්තුවක් ආලෝක බාධකයක් ලෙස යොදා යම්තාක් දුරකට ගැටළුව නිරාකරණය කරගත හැකි ය.

මීළඟට නිරීක්ෂණය කරන ස්ථානයට ගෙනයා යුතු උපකරණ ආදිය ගැන සලකා බලමු. ඔබ සිදු කරන්නට බලාපොරොත්තු වන නිරීක්ෂණය අනුව ඔබ රැගෙන යායුතු උපකරණ සහ ද්‍රව්‍ය වෙනස් වේ. තරු සිතියමක්, ලිපි ද්‍රව්‍ය, පෑන් පැන්සල් වලට අමතරව ඒවා රඳවා තබාගැනීමට ලිපි ගොනුවක්ද, ඇතැම්විට කවකටු පෙට්ටියක්ද රැගෙන යාම වැදගත් වනු ඇත.

රාත්‍රී කාලයේ එලිමහන බොහෝවිට ශීත සහිත විය හැකි බැවින් ඊට ගැලපෙන ඇඳුම් ඇඳ සිටීම පහසුවෙන් නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට උපකාරී විය හැකි ය. උදාහරණයක් ලෙස ඔබ නිරීක්ෂණය කරන්නේ උල්කාපාත වර්ශාවක් නම් දිගු වේලාවක් එළ මහනේ ගත කිරීමට සිදුවන බැවින් හිස ආවරණය වන ලෙස කැප් තොප්පියක් පැළඳීම යෝග්‍ය ය.

සිදු කරන නිරීක්ෂණය අනුව පහසු ඉරියව්ද තිබේ. ඔබ උල්කාපාත වර්ශාවක් නිරීක්ෂණය කරයි නම් එකතැන සිටගෙන ඉහල බලනවාට වඩා බිය දිගාවී ඉහල බැලීම පහසු ය. මේ සඳහා පැදුරක් භාවිතා කල හැකි ය. එසේම දුරේක්ෂයකින් නිරීක්ෂණය කරනවානම් සුදුසු උසකින් යුත් අසුනක් නිරීක්ෂණ ස්ථානයට රැගෙන යාම වඩාත් සුදුසු ය. මීට අමතරව මදුරුවන්ගෙන් බේරී සිටීමට සුදුසු ක්‍රීම් වර්ගයක් ඇඟ තැවරීමත්, දිගු කාලයක් එලිමහනේ ගත කරන්නේ නම් උණුසුම් පානයක් රැගෙන යාමත් හොඳ අදහසකි.

ඇස අඳුරට හුරු කිරීම (Dark Adaptation)
දීප්තිමත් පරිසරයක සිට අඳුරු කාමරයකට පැමිණි විට විනාඩි කිහිපයක් යනතෙක් කිසිවක් හැරිහැටි ඔබට නොපෙනෙන බව ඔබ අත් දැක ඇත. මීට හේතුව වන්නේ අප සිටින පරිසරයේ ආලෝක තත්වය අනුව ඇසට ඇතුල්වන ආලෝක ප්‍රමාණය ඇසේ ඇති කණිනිකාව නම් කොටස මගින් පාලනය කිරීමයි. එනම් දීප්තිමත් පරිසරයකදී කණිනිකාව කුඩා වන අතර අඳුරු පරිසරයකදී කණිනිකාව විශාල කිරීමෙන් ඇසට තවතවත් ආලෝකය ඇතුල් වීමට ඉඩ ලබා දීමයි. නමුත් කණිනිකාවේ ප්‍රමාණය වෙනස් වීමට සැලකිය යුතු කාලයක් ගතවේ. සාමාන්‍යයෙන් මෙම කාලය විනාඩි 20ක් පමණ වේ.

අපට අහසේ වැඩි තරු ප්‍රමාණයක් දකින්නට නම් අපේ ඇසේ කණිනිකාව හැකි තරම් විශාල විය යුතු ය. ඒ සඳහා නිරීක්ෂණයට ප්‍රථම ඇස අඳුරට හුරු කිරීම (Dark Adaptation) සිදු කල යුතු ය. සාමාන්‍යයෙන් අහස නිරීක්ෂණය ඇරඹීමට ප්‍රථම විනාඩි 20ක් පමණ සම්පූර්ණ අඳුරේ ගත කිරීම මගින් ඇස දීප්තියෙන් ඉතා අඩු වස්තු සඳහා සංවේදී කරගත හැකි ය.

එළියේදී සහ අඳුරේදී ඇස සංවේදී වන වර්ණද එකිනෙකට වෙනස් ය. හොඳින් හිරු එළිය පවතින විට ඇස කොළ පැහැයට වඩාත් සංවේදී වන අතර අඳුරේදී නිල් පැහැයට සංවේදී ය. ඇස් අඳුරට හුරු වූ පසු දීප්තිමත් ආලෝකයට ඇස නිරාවරණය වීම වැලැක්විය යුතු ය. යම්කිසි ලෙසකින් ඇස දීප්තිමත් ආලෝකයකට නිරාවරණය වුවහොත් ඇස අඳුරට හුරු වීමට ගතකල කාලයෙන් පලක් නැති වනු ඇත. නමුත් නිරීක්ෂණ සිදුකිරීමේදී, නිරීක්ෂණ සටහන් කරගැනීමට යම් කිසි ආලෝක ප්‍රභවයක් අවශ්‍ය වන බැවින් ඒ සඳහා ඇසට අඩුවෙන්ම සංවේදී වර්ණයකින් යුතු ආලෝක ප්‍රභවයක් තොරාගත හැක. මේ සඳහා සාමාන්‍ය විදුලි පන්දමකට රතු පෙරහනයක් යොදා භාවිතා කල හැකි යි. විදුලි පන්ද‍මේ ආලෝකය උවමනාවට වඩා දීප්තිමත් වීමට අවශ්‍ය නැති අතර මඳ එළියක් ප්‍රමාණවත් ය.

මීට අමතරව දීප්තියෙන් අඩු වස්තු දෙස බැලීමේදී සෘජුව ඒ දෙස බලනවාට වඩා "නෙත් කොනින්" ඒ දෙස බැලීමෙන් සාර්ථක ප්‍රතිථල ලැබිය හැකි ය. මීට හේතුව වන්නේ අපගේ දෘෂ්ඨි විතානයේ මධ්‍යයේ ඇති සෛල වලට වඩා ඉන් බැහැරව පිහිටි සෛල දීප්තියෙන් අඩු ආලෝකයට වඩාත් සංවේදී වීමයි.

තරු අතර දුර අතැඟිලි ආධාරයෙන් මැණීම
තරු අතර දුර මැණීම සඳහා උපකරණ වෙනුවට ඔබේ අතැඟිලි වුවද යොදාගත හැකි ය. ඔබේ අත හැකිතරම් ඈතට කර ඇඟිලි මගින් වැසී යන ප්‍රදේශයේ දුර ආසන්න වශයෙන් මෙසේ මැනගත හැකි ය. විවිධ මිමි සඳහා පහත රූපය අධ්‍යයනය කරන්න. උදාහරණයක් ලෙස ඔ‍බගේ සුළැඟිල්ල භාවිතයෙන් දුර මනින්නේ නම්, සුළැඟිල්ල දෙපස තරු දෙකක් ඇතිනම්, ඒ තරු දෙක අතර දුර අංශක එක කි.



තාරකා
රාත්‍රී අහසේ ඇති තරු යාකොට තනන ලද මනඃකල්පිත හැඩතල තරු රාශි ලෙස නම් කරයි. මෙලෙස තනන ලද රාශිවල ඇති තරු අතර සැබැවින්ම කිසිදු සම්බන්ධයක් නොමැත. 1930දී අන්තර්ජාතික තාරකාවිද්‍යා සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලද තාරකා රාශි 88ක් ඇත. මේ සෑම රාශියකටම නමක් ඇති අතර බොහෝ විට ඒවා ග්‍රීක කතා වල එන චරිත වල නම් වලින් හෝ ඇතැම් ඒවා ලතින් නම් වලින් නම් කර ඇත.

තාරකා රාශියක තරු සඳහාද වෙන වෙනම නම් ඇත. දීප්තියේ අනුපිළිවෙලින් වැඩිම දීප්තිය ඇති  තරුව ඇල්ෆා (α) ලෙසත්, දෙවනුව දීප්තියෙන් වැඩි තරුව බීටා (β)ආදී වශයෙන් ග්‍රීක හෝඩියේ අනුපිලිවෙලින් නම් කරනු ලැබේ. රාශි අතර තරු හඳුනාගැනීම පහසු වන ලෙස තරුවේ නමේ අගට තරුව අයත් තාරකා රාශියේ නමෙහි කෙටිකරන ලද යෙදුමක්ද යොදනු ලැබේ. මේ අනුව ඔරායන් (Orion) රාශියේ දීප්තිමත්ම තරුව αOriනම් වේ. මීට අමතරව ඇතැම් තාරකා සඳහා වෙනම නම්ද භාවිතා වේ. උදාහරණ ලෙස  αLeo යනු රෙගියුලස් තාරකාව යි, oCet යනු මීරා තාරකාව යි, αUMi යනු පෝලාරිස් තාරකාව යි.

තරුවල දීප්තිය මැනීම සඳහා ක්‍රි.පූ. 150 දී පමණ විසූ හිපාකස් නම් විද්‍යාඥයා විසින් දීප්තතා පරිමාණයක් නිර්මාණය කර ඇත. මෙහිදී ඔහු අහසේ දුටු දීප්තිමත්ම තරුවට 1 ලෙස දීප්තතා අගයක් ලබා දී ඇසට පෙනෙන මානයේ ඇති දීප්තියෙන් අඩුම තරුවට 6 ලෙස අගයක් ලබා දුන්නේය. අතරමැදි දීප්තතාවයන් ඇති තරු සඳහා 1 සිට 6 දක්වා අගයන් ඔහු විසින් ලබා දුන්නේ ය. මෙම පරිමාණය අනුව තරුවක දීප්තිය අඩුවන විට දීප්තතා අගය වැඩි වන බව ඔබට පැහැදිලි ය. එම නිසා ඇන්ටාරස් තරුවේ දීප්තතාවය 1ක් වන නමුත් ඊට වඩා සැබැවින්ම දීප්තියෙන් වැඩි සීරියස් තරුවේ දීප්තතාවය -1.43කි.

තරු සිතියමක් කියවීම
රාත්‍රී අහසේ වස්තූන් ඇති තැන් පහසුවෙන් හඳුනාගැනීම සඳහා අහසේ තරු සිතියම් කියවීමට ඉගෙනගැනීම ඉතාමත්ම වැදගත් ය. skylk වෙබ් අඩවිය මගින් ඔබට නොමිලේ තරු සිතියම් ලබාදෙන අතර එවා පහසුවෙන් මුද්‍රණය කරගත හැකි යි.

තරු සිතියම භාවිතා කල යුත්තේ මෙසේ ය. මුලින්ම දකුණු දිශාවට මුහුණලා සිටගන්න. තරු සිතියම ඔබේ හිසට ඉහලින් අල්ලා තබාගන්න. එවිට සිතියමේ ඉහල සහ පහල පිළිවෙලින් උතුරු සහ දකුණු දිශාවන්ට යොමුවිය යුතු ය. එමෙන්ම සිතියමේ ඇති නැගෙනහිර සහ බටහිර සැබෑ නැගෙනහිර සහ බටහිරටද යොමුවී තිබිය යුතු ය.

සිතියමේ පහල ඇති දින පරිමාණයෙන් අදාල දිනය තොරාගන්න. එහි සිට උතුර සහ දකුණ යා කෙරෙන මනඃකල්පිත රේඛාවෙන් පෙන්නුම් කරනුයේ එදින රාත්‍රී 8.00ට අහස මුදුනේ දර්ශණය වන තාරකා රාශි ය. උදාහරණ ලෙස අගෝස්තු 18වන දින රාත්‍රී 8.00ට අහස මුදුනේ දර්ශණය වන තාරකා රාශි වන්නේ Scorpius, Ophiuchus සහ Hercules ය. ඉහත කී මනඃකල්පිත රේඛාව වමට පැය6ක් ගෙනගියහොත් නැගෙනහිර ක්ෂිතිජයත්, දකුණට පැය6ක් ගෙනගියහොත් බටහිර ක්ෂිතිජයත් පෙන්නුම් කරයි.

සිතියම භාවිතයෙන් වෙනත් වේලාවක දර්ශණය වන තාරකා රාශිද නිරීක්ෂණය කල හැක. උදාහරණයක් ලෙස දෙසැම්බර් 21වන දින රාත්‍රී 8.00 අහස මුදුනේ දර්ශණය වන්නේ Cetus තරු රාශිය නම්, ඉන් පැය 4කට (වමට පැය හතරක්) පසුව අහස මුදුනට පැමිනෙන්නේ Orion රාශියයි.

රාත්‍රී අහසේ තරුරාශි හඳුනා ගැනීමට මූලික දැනුම දැන් ඔබ සතු යයි සිතමි. මෙම ලිපියේ මා දැක්වූයේ අහස නිරීක්ෂණයට අදලා මූලිකම කරුණු කීපයක් පමණි. තරු සිතියම් ගැන තවත් අවබෝධ කරගැනීමට ඛගෝලය පිළිබඳව සහ කණ්ඩාංක පද්ධති පිළිබඳව ඔබට මෙම ලිපිය කියවා තේරුම් ගත හැකි ය. රාත්‍රී අහසේ තරු වලට අමතරව ගැඹුරු ආකාශ වස්තු, සහ ග්‍රහලෝක බොහොමයක් උපකරණ රහිතව පියවි ඇසින් වුවද නිරීක්ෂණය කළ හැකි ය. ඒ පිළිබඳව වෙනත් ලිපියකින් බලාපොරොත්තු වන්න.

 

Comments  

 
0 # 2012-01-23 01:59
Thanks
Reply | Reply with quote | Quote
 
 
0 # 2012-01-23 07:57
thanks ... good article.. i also interest this subject.
Reply | Reply with quote | Quote
 
 
0 # ruwaniliyangolla 2012-01-30 19:23
GADAK HODA LIPIYAK...
sUPER...........TNX...
Reply | Reply with quote | Quote
 
 
-1 # 2012-12-26 18:13
Noted thank you...
Reply | Reply with quote | Quote
 
 
+1 # merlin 2014-02-04 12:49
niyamai.. karunu godak danagattha.. thanks
Reply | Reply with quote | Quote
 
 
0 # yasas 2014-08-09 11:11
I can't view sky map.how i get it?or download??
Reply | Reply with quote | Quote
 
 
0 # how can i merge 2014-08-17 03:33
There's definately a great deal to know about this subject.
I love all of the points you have made.
Reply | Reply with quote | Quote
 

Add comment


Security code
Refresh